ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල
''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද''
''මොන කේක්ද දෝණි''
''අනේ''
''කේක් නෙමෙයි දෝනි , අපිව කොහේහරි එක්කගන යන්ඩ කියන්ඩ . තාත්තා මේ දවස්ටිකේ හොදට තනියම ඇවිද්දා අපිව කොහෙවත් එක්ක ගියේ නැ''
''එහෙනං අපි වෝටර් වර්ල්ඩ් යං ''
''අප්පෝ හරි යන්නේ නැ , වෙන කොහේ හරි යං ''
දකුණු ආසියාවේ ප්රථම උමං මින්මැදුර කියලා ටීවි කමර්ෂල් කර කර මිනිස්සු අන්දනවා . ඇති බිජජක් නැ . උමගේ අඩි දොලහක් විතර ඇති , කලින් පාර ගිහිල්ලා වෙච්ච දේවල් හන්දා ගත් කටටම මම කියුවා
'' එහෙනං දෙහිවල සත්තු වත්තේ ''
'' හා එහෙනං ''
මීට මාස හත අටකට කලින් ගිහිල්ලත් මේ ලෝකේ රහක් නොතිබ්බා උනත් මං කියුවා
ඔන්න ඉතින් කෙල්ලෝ දෙන්නයි අටමියි ලැස්ති කරාගන රාගමට ගිහින් කෝච්චියට නැගලා ඇතුලට යන්ඩ බැලුවා . ගොඩ වෙලා ටොයිලට් එක ලගින් පෙට්ටිය අස්සට රිංගගන්ඩ බැ , ෆෝසස් පොරක් උගේ තඩි බැග් දෙකට අමතරව තව පොල් ගෝනි දෙකක් දොරගාව හමන්නලා , හෙන අමාරුවෙන් අටමිවයි කෙල්ලෝ දෙන්නයි එතනින් පන්නලා අස්සට රිංගුවා , අපේ පස්සෙන්ම දුවයි මිනිපිරියයි එක්ක ඇතුලට ආපු ආච්චි අම්මා කෙනෙක් එඩේරමුල්ල හරියට එනකොට ඉස්පිරිතාලේ ඉදන් එන කොට සේලයින් දිපු හිල වහන්ඩ ගහපු ප්ලාස්ටරය තියන අතින් කෙල්ලෝ දෙන්නගේ මුණ අතගානවා , උන්දැගේ අනිත් අතේ හපුටු කොට්ටයක් , හෙන අමාරුවෙන් කෙල්ලෝ දෙන්නත් එක්ක අනිත් පැත්ත හැරුනා.
ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නැති කෝච්චිය අස්සේ සැරින් සැරේ හිටගන ඉන්න උන් අඹරාගන , පෙරලගන පොත් කාරයොයි , අච්චාරු කාරයොයි , වඩේ කාරයොයි රිංගනවා , ඊටත් හපං අර රොකට් බැලුං කාරයෝ.ළමයින්ගේ අතට බලෙන් එවා ගහන්නේ, කාලයක් කොච්චිය අස්සට රිංගලා බඩු විකුණන එක නවත්තලා තිබුනා . දැන් ආයෙත් ''දිවිනැගුම'' යටතේ ජැකට් එකක් එහෙම අන්දලා සෙට් එකක් බස්සලා ,
අනේ ඉතින් ඕකෙන් දුප්පත් මිනිස්සු ටිකක් ජීවත් වෙනවා තමයි , ඒ උනාට සෙනග පිරිලා හුස්මක් කටක් ගන්ඩ බැරුව ඉන්නකොට ඒක මහා වදයක් .
ඒ කෝච්චිය දෙහිවල නවත්තන්නේ නැති හන්දා ගල්කිස්සෙන් බහින්ඩ අටමිව ඉස්සර කරගන ලොකු කෙල්ල මැද්දට කරගන පොඩ්ඩිව වඩාගත්ත මං හෙන ගේමක් දෙනවා , වයහ හතලිහක විතර කපල් එකක් දොරගාව ලව් කරනවා , කරන ලවක් ඇතුලට රිංගලා කරගත්තානං මොකද , අර අයියගේ පොල් ගෝනි දෙකයි , මේ තරුණකාලේ ඇරියස් අල්ලන අක්කයි අයියයි ඇරුනහ , තව මහත අක්කාකෙනෙක් බතික් සාරියක් එහෙම ගහගන මහා කෝණයක් දෙකකුල් වලින් පිහිටවාගන හිටගන ඉන්නවා , පෙනුමනං හරි වැදගත් පාටයි . අපේ උන්දා ඒ අක්කා ගාවින් එලියට රිංගන්ඩ හෙන ගේමක් දෙනවා.
''යං යං චූටී කෝචිය අද්දයි ''
'' යන්ඩ බැ ''
'' ඉඩ දෙන්නේ නැත්තං පොඩි තල්ලුවක් දාන්ඩ''
'' හං...තල්ලු කරන්ඩලු හරි කතාවක්නේ යකෝ ඒක ''
අක්කා කට ඇරියා , කච කච ගානවා ඉවරයක් නැ
'' මේ පොඩි දෙන්නෙකුත් ඉන්නවා ටිකක් එහාට වෙලා ඉඩ දෙන්ඩ , නැත්තං බැහැලා ඉඩ දෙන්ඩ ''
අපිට පස්සෙන්බහින්ඩ ආව අවපාට නැෂනල් එකක් දාගන උන්න අංකල් කෙනෙක් කියුවා , ඒ අක්කානං ඉඩදෙන පාටක් නැති හන්දා ලොකු දුවට අපහසුවක් නොවෙන විදිහට අටමියි මගෙයි අතරේ ගැප් එකක් තියාගන අටමිට පොඩි තල්ලුවක් දුන්නා , අර අක්කා අස්සෙන් අටමිව රූටලා ගියාට මොකද ලොකු ළමයව තැලිලා යන විදහට අර අක්කා ආයෙත් එජස් උනා , අකාරුණික කං ඉදිරියේ නිර්ධය විදිහට අවදිවෙන මගේ තිරිසනා නිහඩව අවදි උනා පීංවතුනි ,අක්කගේ සැන්ට් සුවද අස්සෙන් කෙල්ලවත් තල්ලු කරගන එන ගමන් මගේ ගල් ගෙඩියක් වාගේ සෙරෙප්පු අඩියේ විලුඹ හරියෙන් අක්කගේ ඇගිලිටිකත් බරු ගහගන යාන්තං එලියට පැන ගත්තා .
ගෙදරින් එනකොට ගෙනාපු සරිර අංගෝපාංග ටික තියනවද කියල චෙක් කරගන එහෙම අපි ඉස්ටේසම ඉස්සරහින් ත්රීවිලර් එකකට නැගගත්තා .