මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ මල්ලි කියලා . ඒ උනාට මේක මට ලියටන්ඩම ඕන මගේ අටම්පහුර කියවන ඔයාලට බලන්ඩ . අටමී කියනවා වාගේ මේ කතාව ටිකක් කැත කතාවක් තමයි , ඒ උනාට බ්ලොග් කියවන උන්දලා කුණු රසයට කැමතියි. නැත්තං අටං කතා මෙහෙම නැගලා යයිද , තව උදාහරණ ඕන තරම් දෙතහැකි උනත් ඉල්ලගන කන්ඩ ඕන නැති හන්දා කෙලින්ම බහින්නං කතාවට .
කපිල මගේ පැරණි මිත්තරයෙක් , ඉස්සර කාලේ මම රස්සාව කරපු තැනක වැඩ කරපු පොරක්. ඇත්තටම පොරට එහෙම කොළඹ ඇවිත් කාටහරි කඹුරන්ඩ තරම් අහේනියක් තිබ්බේ නැ, පරම්පරාවෙන් පොරට සැලකියයුතු දේපලක් ලැබිලා තිබ්බා . අනික පොරගේ මායියගේ පැත්තේ පට්ට සල්ලි . ඒ මිනිස්සු පොරට බනිනවා ඒ දේපොල බලාගන ඉන්නැ කියලා. එහෙම තියෙද්දිත් පොර අපේ ආසරයට වැටුනේ එනකොට ගෙනාපු කැඩිච්ච බිදිච්චට තියන ආදරේ හන්දා , කාලයත් එක්ක පොරට කැඩිච්ච බිදිච්චා එපාවෙලා කොළඹ එන එක නැවැත්තුවා .තමුන්ගේ පවුලගෙ ගමේ හන්දියටම වාගේ වෙන්න පාර අයිනේ තියන ඉඩමේ කඩ කාමර හතරක් අටවලා තුනක් කුලියට දීලා එකක මැෂින් රස්සාව පටං ගත්තා . දැන් ගජ පෝසතා වැන් එකක් හිටං තියනවා . අනේ ඉතින් ඔව්වා කවදාහරි කාටද , මොකාට දෙන්ඩ කියලා ද , දරුවෙක් මල්ලෙක්ද , එහේ ගිය ගිණි දවාලක කඩේ පිටි පස්සේ කෑල්ලේ දෙන්නා එක්ක ගල් බෝතලයක් කඩාගත්ත දවසක කපිලයියම මා එක්ක කියනවා.
''වෙලාවකට හිතෙනවා බං මොකට මෙහෙම නැහෙනවද කියලා , මං ඉන්නකං මෙව්වා මෙහෙම තියෙයි , නැති කාලෙක අපරාදේ''
''ඔය උඹලගේ සහෝදරයෙක්ගේ කොල්ලෙක්ටවත් රස්සාව පුරුදු කොරහංකෝ , එතකොට ඉවරනේ''
''වැඩක් නැ බං එකෙක්ට උවමනාවක් නැ , අර තාරකයට නං මැසිමක ටයිමීන්ග් තියන්ඩ හිටං පුළුවන් . දැනුත් ඔය නිවාඩුවට ගෙදර ආපුවහම දුහගන එන්නේ මේ පැත්තේ , තව අවුරුද්දකින් හමාරකින් ඌත් හොද රස්සාවකට යයි , අනිත් -ත්තලා ගැන නං කතා කරලා වැඩක් නැ , උන් එන්නේ කෙල්ලො එක්ක රවුං ගහන්ඩ යන්ඩ සල්ලි ඉල්ලන්ඩ විතරයි ''
''කාටද බං තාරක කියන්නේ''